Tuesday, October 12, 2010

තවලමේ යන අන්තිම ඔටුවාට....



පහසුවෙන් යන පිරිස්
මග දිගට දමා යන
බරෙන් වැඩි
ගැඹුරු දේ
පිට මතට
හිස මතට අරගන්න....!

අතර මැදි කෙටි පහසු
පලල් පටු මං තීරු
කොතෙක් තිබුණා උනත්
දුරින් වැඩි වූ නමුත්
නිවැරදිව හරිපාර
තෝරන්න....

හිම පතිත
අඳුරුබර
දුෂ්කරම පැයේදිත්
හීතලට ගල් ගැහෙන්නට නොදී
දල්වපන් හදවත් උඳුන්....!

රළගසන විෂම චක්රඳය
කඩා බිඳ දමන්නට
අවැසි නිර්භීත සගයින්
සොයාගන්නට වෙයි නුඹට
මැදියම් රැයේ මෙන්
ගුලිවී නිදන මිනිසුන් අතරම....!

පරමාදර්ශ අවැසිනම්
දිවිපිදූ සහෝදර හදවත්
කියවන්න...
ධවල හිම කඳු ළඟ
දණින් නොවැටී ඉන්න....!

අතර මං වූවෝ
මගදිගට හමුවෙති
පව්කාරයන්ටම
දිගට හරහට
පහර දෙන ...
කියා දීපං උන්ට
ගල්ගැසීය යුත්තේ
පවට බව....!

නුඹට නැත
හුදෙකලා ගමනක්...
කතර වූ නමුදු මෙය
මනුසත් උයන මය...!

යතුර සඟවා තැබූ
ස්වර්ගයෙහි දේශනා
අසන උන්ටත් කියනු...!
"විමුක්තිය"
ලෙයින් සහ දහඩියෙන්
සොයා ගත යුතු බවම...!

පහසුවෙන් පැමිණි උන්
සැඳෑ අසිරිය විදිති
දොලොස් පැය දුෂ්කරය
මා මිතුර...!
නපුරු හීනම පෙනෙයි
මේ දැනුත් ගෙවී යයි
ඒ නමුදු අලුයමින්
නැගිටින්න...!

පරපුරක් හැලු ලේ
රතට හිරු පිපෙනවා...!
ඒ දවස නුඹගෙමයි
නැගිටින්න....!
එතෙක් යායුතු බැවින
දුර ගමන් ඇති බැවින
උණුසුමින්
අලුත් හුස්මක් ගන්න...!

සැකකාරයා

No comments:

Post a Comment