කඩ පේලියේ ඉඩකඩ සීමිත හෙවනේ
බල්ලෝ ලගින තැනකම නුඹ ඇස නිව්නේ
මරණෙට හේතු සියොළඟ සිරුරේ තිබුනේ
වෙළඳ සංගමේ පිංවත් ඇස ඇරුනේ
වැරහැලි ඉවත්කර වස්තර සළු පොරවා
බස් නැවතුම් පොලම 'සුදුවට' හැඩකරවා
මල්සාලාවේ මිල වැඩි යහනක හිඳුවා
වෙළඳ සංගමේ පදමට තෙළ බෙදුවා
මහා ඇමති මංතිරි පිරිවර කැටුවා
ධර්ම කථිකයෝ ලාබෙට බණ දෙසුවා
ගෙරිහම තැලී හේවිසි විතරක් හැඬුවා
මඩනැති පාවාඩ වල කටටමඑලුවා
අනේ පුදුම බත් වේලක් නොදුන් අය
හිත හැදුමට වචනයකුදු නොදුන් අය
විලි වැහුමට වැරහැල්ලක් නොදුන් අය
කෙළ කෙළ අවමගුල ජයටම කෙරූ අය
හැන්දෑවේ අයවැය සද්දේ ඇසුනී
වෙන්කල ඉතිරි මුදලින් බෝතල් කැඩුනී
පැය විසිහතරේ මෙත් බෝසත් ගුණ මැකුනී
ඉඳුල් වතුර ඉල්ලන අයටම වැදුනී
- දයා නෙත්තසිංහ
No comments:
Post a Comment